මිනිසාට මග හැරුණු මිනිසා

මිනිසා යනු සත්වයෙකි. දියුණු සත්වයෙකි. මිනිසා සත්වයෙකු වුවත් කිසිම දිනක සත්වයෙක් කියා පිලිගන්නේ නැත. සිතන්නේ නැත. ඒ සතෙක් යනු හැදියාවක් නැති, ක්‍රමවේදයක් නැති, කිසිදා සදාචාරයක් නැති කොටසක් බව දන්නා නිසායි. කෙනෙක් වරදක් කළ පසු අපි බලු වැඩ කරන්න එපා, සතෙක් වෙන්න එපා කියලා බනින්නේ ඒ වැඩේ තරමට අවමානයේ මිම්මත් දිය යුතු නිසාය. එත් සියුම්ව බලන කල බලු වැඩ කරන්න එපා කියා කවුරු හරි කිවුවොත් එය මිනිසාට කල ගෞරවයක් යැයි සිතන්නට තරම් කරුණු සොයා ගත හැක. මන්ද මිනිසාට වඩා බල්ලා බොහෝ තැන වල ක්‍රියාවෙන් බලු වැඩ වලින් ඉදිරියෙන් ඉන්නා නිසයි.

මිනිසා බලු වෙන්නත් බල්ලා ගොඩ යන්නත් හේතුව කුමක් ද? මිනිසාට අද සිදුව ඇත්තේ කුමක්ද? එකිනෙකාගේ ජිවිත අරගලයක් එක්ක අද මිනිසාට මිනිසාවම අමතක වෙලා. මිනිසාගේ වටිනාකම අමතක වෙලා. අපි අද ඉන්න තැන ඉන්නට මිනිසා විසින් මිනිසාට දුන් තල්ලුව අමතක වෙලා.

මව් කුසින් බිහි වුනු අපිට මව් තන පුඩුවෙන් ජිවය ලද අපිට ඩිංග එහා මෙහා ගමන් අනෙකාගේ අම්මට කුණුහරපෙන් බනින්නට තරම් මවකගේ වටිනාකම අමතක වෙලා. ලිංගිකත්වයට, කාම මිත්‍යචාරයට ලොල් වෙලා නංගිව අමතක වෙලා.

මේ ජන සමාජය ගෑනු හා පිරිමි වශයෙන් කොටස් 02ට බෙදුනත් අපි කාන්තාවක් පාරේ දුටු විට හැසිරෙන්නේ කිසිදවසක නොදුටු ජීවී කොට්ටාශයක් ලෙසයි.

අම්මා හෝදලා දුන්න කලිසම ඇඳගෙන නංගී මැදල දුන්න සර්ට් ඇඳගෙන කාන්තාවන්ට අපහාස කරන්නේ, කරදර කරන්නේ හරිම අශෝබන ලෙසයි. මොකක්ද මේ අපිට වෙලා තියෙන්නේ එක්කෝ අපිට මුල අමතක වෙලා නැත්නම් මනුස්සකම අමතක වෙලා. අපි මේ දෙපයින් ඉන්නේ කන්නේ බොන්නේ හුස්ම ගන්නේ ජීවත් වෙන්නේ මිනිසා නිසා කියා අමතක වෙලා. අපේ පරම්පරා දෙකක් එහා සිටි මිනිසුන් අපිව මෙතනට ගෙන්න විදි දුක් අමතක වෙලා.

මොහොතකට අපි අපි ගැන හිතන්නේ නැතුව එක විනාඩියක් අනුන්ගැන හිතන්න වෙන්කලාද? මට වගේම ජීවිතයක් පවුලක් අම්මෙක් නැගණියක් ඉන්නවා නේද? මට වගේම උන්ටත් ඒ අය වටිනවා නේද කියලා හිතන්න මොහොතක් වෙන්කලාද? ගමේ පන්සලේ චෛත්‍ය කොත විතර බත් එකක් කෑවට ඒ බත් ඇටයක් තමන්ගේ පිගානට එන තුරු කී දෙනෙක් දුක් වින්දද කියල සිහි කලාද?

මිනිසා යනු රල වැසි සත්වයෙකි. එම නිසා කිසිම මොහොතක තනිව වෙසෙන්නට මිනිසාට නොහැකිය. මං පොරක් මට කවුරු නැතත් කමක් නෑ. මට කරන්න බැරි දෙයක් නෑ. මට එකෙක්වත් ලොකු නෑ කියා පම්පෝරි ගැහුවට අපි මේ ලෝකෙට එන්නෙත් මේ ලෝකෙන් යන්නෙත් කාගේ හෝ කර මතයි. ඒ සඳහා කාන්තා, පිරිමි දෙගොල්ලොන්ගේම සහයෝගය අවැසි බව අප අමතක නොකළ යුතුය.

මනුෂ්‍ය වර්ගයා යනු පුදුම ආත්මාර්ථකාමී සත්වයෙකි. ඔහුට තමන් තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නැත. තමා හා තම වර්ගයා හැරුණු විට වෙන අයගෙන් වැඩක් නැත. එහෙත් මොහොතක් සිතන්න අපි අපේ වර්ගයාගේ අතීතය සොයා ගියොත් අපේ පියාගේ පියාගේ පසු අපේ අතීතය ගැන අවබෝධයක් නැත. අපේ පියාගේ සියා හෝ ඒ සීයාගේ සහෝදරයන් දන්නේ නැත. මේ මනුෂ්‍ය වර්ගයේ අතීතයට ගිය හොත් බෙදී බෙදී ගොස් අප සියලු දෙනා දම්වැලක පුරුක් බවට පත්වේ. අද මෙතනට අපට එන්නට අපේ අසල්වාසීන්ගේ, මිතුරන්ගේ, හතුරන්ගේ මේ හැමෝගේම දායකත්වය ලැබී ඇත. අතීතයේ ආ වියසන වලින්, සතුරු උවදුරු වලින්, යුද්දයෙන් ජිවිත බිලි දෙමින් මනුෂ්‍ය වර්ගයා රැක ගන්නට අතීතයේ මිනිසා කල මෙහෙයට අප ඔහුට ගරු කල යුතුය. ඔවුන්ගෙන් පැවත එන නුතනයන්ටද ගරු කළ යුතුය. මන්ද අපි දන්නා නොදන්නා සියලු දෙනා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අද දවසේ යමක් කරමින් සිටී. දන්නා නොදන්නා හැම මිනිසුන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිපලය හෙට දවසේ අපී දරුවන්ට ප්‍රයෝජනවත් නොවී යැයි අපි කාට කිව හැකිද? එදා අපේ පැරැන්නන් රැකි ගහේ කොළේ දොළේ ප්‍රතිලාබ ලබන අපි කිසි මොහොතක ඒ මිනිසුන්ගේ මනුස්සකම ගැන සිහි කරාද? මේ සමාජයේදී අපි ගහගන්නේ වෛර කරන්නේ, හිංසනයට ලක් කරන්නේ ඔවුන්ගෙන් පැවත එන පරම්පරාවට කියා අපි මොහොතක් සිතනවද?

මිනිසා තරම් ආත්මාර්ථකාමී කෙනෙක් නැතුවා සේම පරාර්ථකාමීත්වයක් නැති බව අපිට සිතෙයි. අද අපි අඳින පළඳින, කන බොන යන එන භාවිතා කරන මේ හැමදේම නිර්මාණය කලේ මිනිසාය. දිවා රෑ, දින, සති, මාස හා වර්ෂ ගෙවා සොයා ගන්නා නව නිපැයුම් අපි හරි සරලව භාවවිතා කලාද? අපි වෙනුවෙන් මේ තරම් දේවල් කරන කෙනෙකුගේ නමවත් අපි දන්නේද? phone ග්‍රැහැම්බෙල්, ගුවන් යානය රයිට් සහෝදරයෝ කියා දන්නවා වුනාට එතනින් එහාට මේ කිසිවක් හැදුවේ කව්ද කියා නොසොයා අපි නිකන් ඒවා භාවිතා කරන්නේ අපි ඒවා සොයා ගත්තා වගේය. අපිට කල නොහැක්කක් නැතිවා සේය. මිනිසාගේ වටිනාකම මිනිසාට දැනෙන්නේ නම් ජිවිතයට ප්‍රශ්න ආ යුතුය. මිනිසා තනි විය යුතුය. අපි රාත්‍රියක පාලු පාරක ගමන් කරනවා යැයි සිතන්න අපි නොදන්නා කවුරුන්හෝ ඉදිරියෙන් යනවා නම් අපේ හිතට කොයි තරම් සැනසීමක්ද? අපට පාරක් වැරදුන විට, වාහනයක් කැඩුන විට අපිට උදවු කරන්නේ අපේ අය නොවේ. ඔබේ දරුවාට හොඳ අධ්‍යාපන ආයතනයක් ඔබ සොයන්නේ ඊට කලින් ප්‍රතිපල ලබාගත් දරුවන් නිසාය. ඔබ හොඳ කෑම කඩයක් හොයන්නේ නිතරම මිනිසුන් පිරී සිටින නිසාය. හොඳ රෙදි කඩ හොයා ගන්නේ මිනිසුන් වැඩිපුර යන එන බව විමසාය. ඒ කිසිවෙක් අපි පෞද්ගලිකව හදුනන්නේ නැත. ඒත් වක්‍රාකාරව ඔවුන් අපේ ජීවිත වලට සහනයක් වී ඇත. මේ අයුරින් ජිවිතයේ හැම මොහොතකටම ගැහැණු පිරිමි බේදයකින් තොරව මිනිසාට උදවු කරයි. අත්වැල් සපයයි.

  නියෙන්ඩතාල් මානවයාගේ සිට නූතන කාර්මික මිනිසා දක්වා භාෂාව ,හැදියාව ,සංස්කෘතිය ,තාක්ෂනය මේ සමාජ ක්‍රමය ඇති කරන්නට මිනිසා අති මහත් කැපකිරීමක් කර ඇත .එම නිසා මිනිසත් බව රුපියල් සත වලට සීමා නොකොට ගෞරවයෙන් සැලකිය යුතුය.එකිනෙකට ගෞරව කල යුතුය .වටිනාකම තේරුම් ගත යුතුය .එසේ වුව හොත් මේ සමාජයේ මිනිසා මිනිසාට ලබා දෙන වටිනාකමට තක්සේරුවක් දිය නොහැක .




Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online