ඕවා කියන්න ගිහින් මම නිරපරාදේ ආදායම් බදු වලට අහුවෙනවා - කමල් අද්දරාරච්චි

අද අපත් සමඟ කතා බහට එකතු වෙන්නේ සිංහල සිනමාවේ බිහිවූ තරු අතර හිතේ ඇඳුනු සොඳුරු සිහින කුමරායි. ගායකයෙක්, රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් විදියට සිය හැකියාවන් පෙන්වන ඔහු කමල් අද්දරආරච්චි.

කමල් අද්දරආරච්චි තමන්ට රංගන හැකියාවක් තියෙනවා කියලා අඳුන ගත්තේ කොහොමද කොතනින්ද?

ඇත්තෙන්ම ඕක අඳුන ගන්නවා කියන එක. ඉතින් තමන්ට ආශාවක් ඇතිවෙන්න ඕන මුලින්ම ඕන දේකට. ඒ ආසාව ඇතිවුන තැන තමයි මගේ පාසල් කාලය. කුඩා කාලයේ ඉදන්ම ඒ කියන්නේ අවුරුදු 6 විතර ඉඳන් විවිධ ප්‍රසංග වල කරපු කියපු දේවල් රස වින්දා. 9, 10 පන්ති වලදී අපිට මුණගැහෙනවා ගාමිණි සමරකෝන් කියලා රඟපෑමට අපිව උනන්දු කරපු ගුරුවරයෙක්. ඔහු වේදිකා නළුවෙක් ඒ දවස් වල ඔහු ජනප්‍රියයි. ඔහුගෙන් ලැබුන ආභාෂයත් එක්ක රංගනයට තවත් උනන්දු වුනා. පාසලෙන් තමයි රංගනයට හැකියාවක් තියෙනවා කියලා අඳුන ගත්තේ.

ඔබට රංගනයට මුල්ම අවස්ථාව ලබා දුන්නේ කවුද?

එතැනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ ගුරුවරු ගාමිණි සමරකෝන්, අපේ පාසලේ විදුහල්පති වගේම, ආචාර්ය සලමන් ෆොන්සේකා, ආචාර්ය නෝබට් ජේ මයර්, ගාමිණි ෆොන්සේකා, ආනන්ද අබේනායක වගේ නම් තමයි.

ඔබ රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි ගායකයෙක් විදියටත් හුඟක් ජනප්‍රියයි කොහොමද මේ ගායන ශිල්පියා බිහිවෙන්නේ?

මගේ ගායන කුසලතාවය දැක්ක ප්‍රේමරත්නයන්. එක සංගීත ප්‍රසංගයක මම ගීතයක් ගායනා කළා අවුරුදු බර ගාණකට කලින්. ඒ ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා එච් ඩි ප්‍රේමරත්නයන්. ඉතින් ඔහු මට සප්ත කන්‍යා චිත්‍රපටයේ රඟපාන්නත් කලින්ම කියලා තිබුනා මේ ෆිල්ම් එකේ ගීතයක් ගායනා කරන්න කියලා. ඒ අනුව රෝහණ විරසිංහයන්ගේ ඒ සුන්දර වූ සංගීත රචනයෙනුත් කැමිලස් පෙරේරා ගේ පදරචනයට මාත් එක්ක එකතු වුනා දමයන්ති ජයසූරිය සහය ගායිකාව. ඉතින් මම ප්‍රථම වරට ගයපු ගීතයට ජනාධිපති සම්මානයකුත් ලැබුනා. මං හිතන්නේ ඒක සුන්දර අවස්තාවක් වගේම වාසනාවක්.

විජය කුමාරණ්තුංගට පස්සේ තරු පෙනුමක් තියෙන රංගන ශිල්පියා ඔබ කියලා හුඟ දෙනෙක් කියනවා. කොහොමද ඒ තරු පෙනුම රැකගන්නේ?

තරු පෙනුම ගැන මට කියන්න තියෙන්නේ පෙනුම තුලින් තරුවක් වෙන එකයි හැකියාව තුලින් තරුවක් වෙන එකයි දෙකක්. ඉතින් විජය කුමාරණතුංග දැක්ක ගමන් ආකර්ෂණය වෙන පෙනුමක් තියෙන්නේ. නමුත් ඉතින් මම ටිකක් කෙසඟයි. මට ඉතින් තියෙන්නේ වෙනම පෙනුමක්. රඟපාද්දී මම ඉරියව් ඉදිරිපත් කරන විදිහේ සහ හැසිරීම් රටාව තුලත් මොකක් හරි ඉතින් සුවිශේෂී භාවයක් දකිනවා ඇති.

උන්මාද වූ, තුන්සිත දැහැන්ගතවෙලා වගේ ගීත අතිශය ජනප්‍රිය වුනා. ඇයි අලුතෙන් ගීත ගායනා කරන්නේ නැත්තේ?

මම ආසයි කරන්න. මං යම් කිසි විදියකට උදාසීන වෙලා තියෙනවා. නමුත් මං හිතනවා අනාගතයේදී ඒ සඳහා පසුබිමක් සකස් කරගෙන යනවා. විශේෂයෙන්ම අපිට තියෙන ලොකු අඩුපාඩුවක් තමයි හොඳ සංගීත නිර්මාණයක් කරන්න අවශ්‍ය ගීත රචනයේ තියෙන හිස්තැන. මේ ගීත රචකයෝ බොහොම අමාරුයි අවදි කරවන්න. බොහොම අමාරුයි එයාලගෙන් වැඩක් කරගන්න. මේ වගේ පසුබිමක් තුල බොහොම කලාතුරකින් තමයි හොඳ පද රචනයක් ලැබෙන්නේ. එහෙම නැත්තම් මං ලියාගෙන මං කියන්න ඕනේ.

ඔබ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට කටයුතු කරන්න උත්සහ කළා නේද? නමුත් ඔබ අසාර්ථකයි නේද?

ඔව් ඇත්තටම අසාර්ථකයි. මොකද අසාර්ථක වෙන්න හේතුව ඒ දේට මට තිබුන උනන්දුව සම්පුර්ණයෙන්ම නැති වෙලා ගියා. මොකද මේක මම ව්‍යාපාරයක් විදියට කරන්න ගිය දෙයක් නෙමෙයි. අපේ තරුණ තරුණියන් බොහොම පසුගාමී වෙලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී. Spoken English කියන දේ විභාග වලට එන්නේ නෑනේ. ඒ වටිනාකම තේරුම් ගන්න නම් රස්සාවකට යන්න ඕනේ. උනන්දුවක් නැති අයට එකම අඩිය හැමදාම තිය තියා කරන දෙයින් මගේ කාලේ නාස්ති වෙනවා කියලා මට හිතුනා.

නිවේදකයෙක් විදියට වැඩිම ගෙවීමක් කලේ ඔබට කියලා කියනවා මේ කතාව ඇත්තද?

මට වඩා ගෙවපු අය ඇති. මේවා කියන්න ගිහින් මම නිරපරාදේ ආදායම් බදු වලට අහුවෙනවා.

රමණි බර්තොලමියුස් සම්බන්ධව ලොකු චෝදනාවක් ඔබට එල්ල වුනා ඔබට ඒ ගැන මොන වගේ මතකයක්ද තියෙන්නේ?

මට උසාවියකින් කිසිම චෝදනාවක් එල්ල වුනේ නෑ. එයාලා බැලුවා. උසාවියෙන් හොයලා බැලුවා. රමනිගේ සිදුවීම මොකද්ද මරණයක්ද මිනීමැරුමක්ද කියලා මාවත් රිමාන්ඩ් කරගෙන එයාලා හොයලා බැලුවා. පරීක්ෂණ කළා. අන්තිමට ඔප්පු වුනා ඒක මිනීමැරුමක් නෙමෙයි කියලා. උසාවියකින්වත් ඔප්පු නොවුන චෝදනාවක් තමයි ඔය අදත් කතා කරන්නේ.


මිනිස්සුන්ට මං හිතන්නේ මගේ ප්‍රසිද්ධිය දරාගෙන ඉන්න බැරුව ද දන්නේ නෑ.

මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් කියලා කියන්නේත් මිනිස්සුම තමයි. එහෙවු අපි තවත් පුද්ගලයෙක්ට චරිත සහතික ලියන්නත් හරි දක්ෂයිනේ..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online