පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ. උමා ඔය ගැන අද වෙනකොට ඇති වෙලා තියෙන්නෙත් මේ වගේ තත්වයක්. 
 
උමා ඔයෙන් පෝෂණය වන උමා ඔය නිම්නය මධ්‍ය කඳුකරයේ සරුසාර භූමි ප්‍රදේශවලින් එකකි. වර්ග කිලෝමීටර් හත්සිය විස්සකින් සමන්විත උමා ඔය, බොඹුරුඇල්ල ඔය, කුඩා ඔය, අඹේවෙල ඔය, මාතැටිල්ල ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු කරගනිමින් කිලෝමීටර් 75ක් දුර ගෙවා රන්ටැඹේ දී මහවැලි ගඟට එකතු වේ. මෙහි අක්‌කර සීයකට නොවැඩි වාරි ව්‍යාපෘති බොහාමයක් ක්‍රියාත්මක වන අතර, උමා ඔය ද්‍රෝණියේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 28,000 ට ආසන්නය. එයින් අඩක්ම අක්කර සීයයට අඩු බිම්ය. මෙහි පවතින කුඹුරු වැඩි ප්‍රමාණයකට ජල හිඟය නිසා යල කන්නයේ දී වගා කටයුතු කිරීමට පවා නොහැකිය. මීට අමතරව එළවළු බෝග වගා කෙරෙන විශාල ගොඩ ඉඩම් ප්‍රමාණයකට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි මෙමඟින් ලබාගත නොහැකිය.
 
එසේම කිරිගව පාලනය වැඩිපුරම කෙරෙනුයේද උමා ඔය නිම්නයේය. අනෙක් අතට උමා ඔය නිම්නය ආර්ථික උල්පතකි, රටට මහත් සම්පතකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ උමා ඔය නිම්න සංවර්ධනය ද එකතු වූයේ එහි ප්‍රථිඵලයක් වශයෙනි. ඒ අනුව මහියංගන රොටලවෙලදී මහවැලි ගඟ හරස්‌කර ජලාශය ඉදිකිරීම, මිනිපේ ඇළ අඹන් ගඟ දක්‌වා ගෙන ගොස් කවුඩුල්ල දක්‌වාත් දිගු කිරීම, මාදුරු ඔය දකුණු ඉවුර මගින් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ජලය සැපයීම, උමාඔයේ ඉහළ ජල විදුලිබලාගාරය (මෙගාවොට් 25) සහ උමා ඔය පහළ ජල විදුලි බලාගාරය (මෙගාවොට් ‌30) ඉදිකිරීම ද මීට අයත්වේ. එසේ හෙයින් උමා ඔය පාරිසරික කලාපය මෙරට හදවත බඳුව රැක ගත යුතුවේ.
 
උමා ඔය, එහි ස්වාභාවික ගමන් මඟෙන් බැහැරට ගෙන කිරිඳි ඔය නිම්නයට හරවා මොණරාගල හා දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ලබාදීම, කලක සිට සාකච්ඡා වූ මාතෘකාවකි. එහෙත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම් උමා ඔය හැරවීම ප්‍රයෝගිකව සිදු කරන්නේ කෙසේද යන්නය.
 
එය පොළොව මතුපිටින් හැරවීම කෙසේවත් කළ නොහැකිය. එනිසා වැලිමඩ, පුහුල්පොළ සිට බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයට යටින් ඉදිකෙරෙන භූගත උමං මාර්ගයකින් ජලය ගෙනයාම වඩා යෝග්‍ය බව තීරණය කෙරුණි. එසේ දකුණට ගෙනයනු ලබන ජලයෙන් හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගණ, සංචාරක හෝටල්, කර්මාන්ත ප්‍රදේශ සඳහා ජලය ලබා දීමටත්, කිරිඳි ඔය නිම්නයේ වගා ඉඩම් හෙක්‌ටයාර් 8,000-10,000 කට ජලය සැපයීමටත්, මෙගාවොට්‌120ක ජලවිදුලිය නිෂ්පාදනය කිරීමටත් ඒ අනුව යෝජනා විය.
 
උමා ඔය විනාශය
 
මේ සඳහා වැලිමඩ පුහුල්පොළදී ඔය හරස්‌කොට එක් ජලාශයක් හා වැලිමඩ ඩයරබා හිදී මාතැටිල්ල ඔය හරස්‌කොට තවත් ජලාශයක්‌ ඉදි කර, පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශයට කිලෝ මීටර් 3.5ක දිගකින් යුත් හා මීටර් 4.1ක් පළල උමඟක්‌ ඉදිකිරීමත්, ඩයරබා සිට කුරුකුදේගම, බිඳුණු වැව, හීල් ඔය, අඹදණ්ඩේගම යන ගම්මාන යටින් කරඳගොල්ල දක්වා කිලෝ මීටර් 19 පමණ දිගින් හා මීටර් 4.3 පළලින් යුත් උමං මාර්ගයක් ඉදිකිරීමත් යෝජනා විය.
 
මීට අමතරව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වැල්ලවායට මායිම්ව භූගත විදුලි බලාගාරයක් ඉදිකිරීම හා එහි සිට අලිකොට ආර දක්‌වා කිලෝ මීටර් 3.3ක් දිගින් යුත් හා මීටර් 4.1ක් පළලින් යුත් ජලය පිට කිරීම සඳහා උමගක් ඉදිකිරීම ද, විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5න් යුත් උමගක්‌ ඉදිකිරීම හා විදුලි බලාගාරයේ සිට බදුල්ල උපපොළ දක්‌වා අධිබලැති විදුලි රැහැන් මාර්ග ඉදිකිරීමට ද මෙමගින් යෝජනා විය. භූ විද්‍යාත්මකව බලන කල, ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ගිනිකොණ බෑවුම ආශ්‍රිතව, ඉහළ ඌවේ කඳුකරය යටින් උමං මාර්ග ඉදිවීම එම ප්‍රදේශවල ජල මුලාශ්‍රවලට විශාල තර්ජනයක් වනවා පමණක් නොව, ඉදිරියේදී නාය යෑම් තත්ත්ව උග්‍ර වීමටද එය අනිවාර්ය සාධකයක් බවට පත්වේ. දැන් සිදුවී තිබෙන්නේ එහි ආරම්භයයි.
 
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට නිවාස 7,000ක පමණ ඉරිතලා, පුපුරා, ගිලාබැස හානියට පත්ව ඇති අතර, බොහෝ නිවාස මුළුමනින්ම විනාශ වී ඇත. ළිං, පෝෂක උල්පත්, දියකඳුරු 3,500 ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත. වැලිමඩ පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා කිලෝමීටර් 3.5 උමං මාර්ගය සැකසීම සඳහා විශාල ගල් පර්වත කඩා ඉවත් කිරීම සඳහා ගල් වෙඩි යෙදීම හේතුවෙන් පුහුල්පොළ, ලුණු වත්ත, කොන්කණුවෙල යන ප්‍රදේශවල නිවාසවලට විශාල වශයෙන් හානි සිදුව ඇත.
 
මීට සමගාමීව ඩයරබා ජලාශයේ සිට කරඳගොල්ල දක්වා උමං මාර්ගය තැනීම හේතුවෙන් ගම්මාන රාශියකම ළිං දිය උල්පත් සිඳී යෑම නිසා පානීය ජල අවශ්‍යතාවයවත් සපුරා ගත නොහැකි තත්ත්වයට ජනතාව පත්ව ඇති අතර, උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විසින් මේ වන විට ගැටලු රාශියක් ජනිත කර ඇත. දැනට මෙම ප්‍රදේශවලට ජල අවශ්‍යතා සපයනු ලබන්නේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන්ය.
 
එය දිනකට ලීටර් 180,000 පමණ වේ. එසේම බණ්ඩාරවෙල හා ඒ අවට ගම්මාන රාශියක්ම මේ වන විට අවදානම් කලාප බවට හඳුනාගෙන ඇත. බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැඟිල්ල, කුමාරි ගොඩනැඟිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැඟිලි බොහෝ ප්‍රමාණයක් මේ වන විට ගිලාබැසීම්වලට ලක් ව ඇත.
 
පසුගිය රජය යටතේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඉතාම බරපතළ තත්ත්වයක් පෙන්නුම් කළේය. ඒ හාරමින් තිබූ උමග තුළට ජලකාන්දු වීමට පටන් ගැනීම නිසා ය. ඒ සමගම ගෙවල් ඉරිතලාගොස් ගිලාබැසීමේ තත්ත්වයක්ද ඇති විය. එසේම ළිංවල ජලයද සිඳීයෑමට පටන් ගත්තේය. මේ පිළිබඳව වත්මන් රජයට දැනුම් දීමෙන් අනතුරුව 2015 මාර්තු මාසයේදී රජය විසින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළේය.
 
කෙසේ හෝ නැවතත් මෙම උමා ඔය ව්‍යාපෘතියට අදාළ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර, ඒ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ භූගත ජලය විශාල වශයෙන් කාන්දු වන්නට පටන් ගත්තේය. එවකට එය තත්පරයට ජලය ලීටර් 875 ක් හෙවත් දිනකට ජලය ලීටර් මිලියන 75-80 කට ආසන්න ප්‍රමාණයක් වූ අතර, උමග තුළින් විශාල වශයෙන් ජලය බැහැර විය.
 
2017 මැයි/ජූනි වන විට පනංගල ප්‍රදේශයෙන් උමඟ තුළට තප්පරයට ලීටර් 976 ක ප්‍රමාණයකින් ජලය කාන්දුවන බව සොයා ගත් අතර, මෙය දිනකට ලීටර් මිලියන 84 පමණ අපතේ යාමක් බව වාර්තා විය. බෝතල් කළ උල්පත් ජල ලීටරය රුපියල් 80/- කට මිලදී ගන්නා රටක, දිනකට ජල ලීටර් මිලියන 84 පමණ අපතේ යාම පිළිබඳව තක්සේරු කරන්නේ කවර අගයකින්ද යන්න ජනතාව වන ඔබම කල්පනා කර බැලිය යුතුය.
 
ඇස්තමේන්තු වෙනස් කිරීම
 
මෙම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගමය. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 ක් විය. කැනඩාවේ ඩබ්ලින් උපදේශන සමාගම ඇස්තමේන්තු කිරීමෙන් වසර 3 කට පසුව මෙම ව්‍යාපෘතිය ඉරානය සමාගමකට පැවරීමට පසුගිය රජය කටයුතු කළේ කුමන හේතුවකින්ද යන්න අදටත් ගැටලුවකි.
 
කෙසේ හෝ ඉරාන ‍තෙල් සමාගමක් වන ෆරාබ් (FARAB) ආයතනය මෙම ව්‍යාපෘතියට මැදිහත් විය. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පිඹුරුපත් සකස් කර තිබුණු අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පවරා තිබුණි.
 
ඊට ඔහු දැඩිව විරෝධය පෑවේ නියමිත ශක්‍යතා අධ්‍යයනයකින් යුතු වාර්තාවක් නොමැතිව තමාට එය අත්සන් තැබිය නොහැකි බවත් පවසමින් බව පැවසේ. පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්’ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අත්සන් තබා ඇත. මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය.
 
කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද එක්ව සකස් කරන ලද ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 548කි. එය ශ්‍රී ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකඟ වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මඟින් 248 ක වැඩි වීමකි. වැඩිවීම ආසන්න වශයෙන් රුපියල් මිලියන 76,320 කි. එයින් 85%ක් ඉරාන රජය මඟින් ද, 15% ක් ශ්‍රී ලංකා රජය මඟින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකඟත්වය පළ කරනු ලැබීය.
 
ඇස්තමේන්තු කර ඇති 1,670ක සේවක සංඛ්‍යාවෙන් බහුතරය, එනම් 1334ක් ම කම්කරුවන් ය. එම කම්කරු රැකියාවලින් 1,197ක් ශ්‍රී ලංකාවේ සේවකයන් ඉංජිනේරු රැකියා ඇතුළු ඉතිරි වන අතර පුරප්පාඩු සියල්ල ඉරාන ජාතිකයන්ගෙන් පිරවීමට තීරණය වී තිබිණ.මේ පිළිබඳව ද අපක්ෂපාතීව කරුණු සොයා බැලිය යුතුය.
 
ඉරානයට බාර දීම
 
ව්‍යාපෘතිය සඳහා පැමිණි වෙනත් රටවල් හා වෙනත් මුල්‍ය ආයතන මෙම ව්‍යාපෘතිය භාර නොගත් අතර, මහින්ද රාජපක්ෂ රජය 2009 වර්ෂයේ අප්‍රේල් මාසයේ 29 වන දින ඉරාන රජයේ දායකත්වයෙන් ඉරානයේ අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර(ණය ආධාර) සහිතව FARAB Consultant සමාගමට මෙහි කටයුතු නිලවශයෙන් භාර කළේය. ඒ අනුව ශ්‍රී ලංකා හා ඉරාන ජනාධිපතිවරුන් ගේ සහභාගීත්වයෙන් තොරව යටතේ උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2009 අප්‍රේල් මස 29 දින සිට ආරම්භ කෙරිණි. එහිදී කිසිදු සක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික ඇගයීම් වාර්තාවක් හෝ අධ්‍යනයක් නොකළ බව සඳහන් වේ.
 
අන්තර්ජාලයේ ඇති දත්ත අනුව ඉරානයේ ෆරාබ්(FARAB) සමාගම ජල උමං කැණීම සඳහා වූ පුරෝගාමී ආයතනයක් නොවේ. ඇතැම් විට මේ සඳහා යෝග්‍ය වෙත් සමාගම් ඉරානයේ තිබෙන්නට ඇත. කෙසේ නමුත් අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුව ෆරාබ් (FARAB) සමාගම මේ වන විට මෙවැනි බලශක්ති ව්‍යාපෘති 35ක් පමණ සිදු කර ඇති අතර, එයින් 26ක්ම ඉරානය තුළ කළ ඉඳිකිරීම් ය. අනෙක් ඉඳිකිරීම් නවය සිදු කර ඇත්තේ අසර්බයිජාන්, ඉරාකය, කෙන්යාව, තජිකිස්තාන්, පාකිස්තාන් හා ආර්මෙනියා යන රාජ්‍යන් තුළය.
 
වැඩ නොදන්නා සමාගමක්
 
එසේම ඉහත සඳහන් ව්‍යාපෘති 35න් 19ක්ම භුමිය මතුපිට කළ ඉඳිකිරීම් ය. එසේම භූගත උමං මාර්ග කැණීම් 8ක් පමණ මේ ව්‍යාපෘති අතර තිබේ. නමුත් ඒ එකක්වත් අප රටේ භූ පිහිටීම් හා කිසි ලෙසකින්වත් සමාන භූමිවල සිදු කළ ව්‍යාපෘති නොවේ. මේ අනුව ප්‍රත්‍යක්ෂ ලෙසම කිව හැක්කේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩන්, ජර්මන්, චීන, ජපන් විද්‍යාඥයින් තරම් නිපුණ වූවන් නොවන බවය.
 
අපේ රට නිවර්තන කලාපීය රටක් වන අතර අපේ භූස්කන්ධය ප්‍රාග්කේම්බ්‍රීය පාෂාණවලින් සමන්විත විපරීත අවසාදිත/ විපරීතආග්නේය පාෂාණ වුව ද මේවා අවුරුදු මිලියන 1500- 2000 හෝ ඊටත් වඩා පැරණිය. භූ විද්‍යාත්මකව මධ්‍යම කඳුකරයේ පිහිටි පාෂාණවල තත්ත්වය සලකා බැලීමේ දී කුස්තුර, විවර, ව්‍යාකෘති කලාප (shear zones) බෙහෙවින් පිහිටා ඇත. විවිධ ඛණිජ වර්ගවල ඒකරාශී වීම්, පිහිටීම් රටා හා ජීර්ණයට භාජනය වීම් සලකා බැලීමේදී දුර්වල පාෂාණ ව්‍යුහයන් භූ තලය මතුපිට සිට අභ්‍යන්තරයට විහිදී යන බව පෙනේ. ශ්‍රී ලංකාවේ පැවැති පැරණි දේශගුණික වෙනස්කම් අනුව ඇතැම් විට මීටර් සිය ගණනක් ගැඹුරට ඒවා විහිදී යයි.
 
ඒවා තුළ අභ්‍යන්තර ජලවහන ලක්ෂණ, ජල ගබඩා ඇත. මේ පිළිබඳව උමා ඔය ව්‍යාපෘතියෙදී භූවිද්‍යාත්මක ගවේශණ නොකළේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩ්න්, ජර්මන්, චීන, ජපන් විද්‍යඥයින් තරම් නිපුණ වූවන් නොවන නිසා බව මෙමගින් ප්‍රත්‍යක්ෂ වේ. එසේම යෝජිත උමගට මතුපිටින්, උමං ලක්ෂ (tunnel points) යොදා ගනිමින් භූගත ජල මට්ටම් සොයා ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවකි.
 
ශ්‍රී ලංකාවේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයනාංශය යන අංශ වලින් මෙම ව්‍යාපෘතියට කුමන දායකත්වයක් දුන්නාදැයි කොතැනකවත් පැහැදිලි කිරීමක් නැත. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල මූලාශ්‍ර පිළිබඳව දත්ත ද තිබියදී මෙරටේ භූව්‍යුහය පිළිබඳව කිසි අවබෝධ නැති ‘ෆරාබ්‘ සමාගම වැනි සමාගමක් ලවා නියමිත සක්‍යතා අධ්‍යයන හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා නොමැතිව වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේ දී “උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ රහස කුමක්ද ?.
 
මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට පමණක් වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 260ක් හෙවත් මිලියන 26ක් බව වාර්තා වේ. මුල්ගල් තබා වසර 03 ක් ‌ගත වූ මොහොතේ ලංකා ඉතිහාසයේ වැඩිම ලිඛිත විරෝධතා ප්‍රමාණයක්‌ ඉදිරිපත් කර තිබියදී, රාජපක්ෂ ආණ්ඩුව 2012 අප්‍රේල් මස 12 වන දින පරිසර වාර්තාවට අනුමැතිය ලබාදී මෙම ව්‍යාපෘතිය කිරීම යෝග්‍ය බව ප්‍රසිද්ධ කළේ මන්ද? මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට වහා දඩුවම් කළ යුතු සේම එම ක්‍රියාව සිදු කළ දේශද්‍රෝහීන්, ජනතා ද්‍රෝහීන් රටට අනාවරණය කළ යුතුය. එපමණක් නොව නතර කළ ව්‍යාපෘතිය ආරම්භ කර මෙවැනි ව්‍යසනයකට මඟ පෑදූ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ මේ පිටුපස සිටින වගකිවයුතු පාර්ශ්ව කරුවන්ද රටට හෙළි කළ යුතුය.
 
තිබෙන සම්පතින් වැඩක් නොගැනීම
 
මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක දෙකට ද උග්‍ර ජල හිඟයක්‌ පවතින බව සත්‍යයකි. එම දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට ජලය සැපයීම ද අත්‍ය අවශ්‍ය කාරණාය. නමුත් කිරිඳිඔය නිම්නයේ ජලහිඟය පියවීමට, උමාඔයට හැකියාවක්‌ නැත. ඊට හේතුව වන්නේ මෙම නිම්න දෙකටම වර්ෂාව ඇති වන්නේ සහ පායන්නේ එකම කාලයක නිසා ය.
 
උමා ඔය සහ කිරිඳි ඔය නිම්නයට වර්ෂාව ලැබෙනුයේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟය. මේ නිසා කිරිඳි ඔය නිම්නයට ජලය හිඟ වන විට උමා ඔය නිම්නයටද ජල හිඟ වේ. වැස්ස සහ පෑවිල්ල එකම කාලයක සිදුවන බැවින්, කිරිඳි ඔයට ජලය හිඟ වූ විට උමාඔයෙන් ලබාදීමට තරම් ජලයක් උමා ඔයේ ඉතිරි වන්නේ නැත. එබැවින් මෙම නව ව්‍යාපෘතිය මගින් කිරිඳි ඔය නිම්නයේ ජල හිඟයට විසඳුමක් කිසිසේත්ම ‌ලැබෙන්නේ නැත.
 
අනෙක් අතට මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා මුහුදට ගලා යන ගංගා ගණනාවකි. ඒවායෙන් තවමත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩහැර ඇති ජලධාරිතාව ද අතිවිශාලය. රජයේ වාර්තා අනුව නිල්වලා ගඟෙන් 40% ක්‌ද කිරිඳි ඔයෙන් 30% ක්‌ද මැණික්‌ ගඟෙන් 33% ක්‌ද, කුඹුක්‌කන් ඔයෙන් 36% ක්‌ද කිරම ඔයෙන් 33.5% ක්‌ද, උරුබොක්‌ක ඔයෙන් 27% ක්‌ද, වලවේ ගඟෙන් 22% ක්‌ද ගල්ඔයෙන් 31% ක්‌ද මුහුදට ගලා බසින්නේ මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා ය. මෙම ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි කළමනාකරණය කරන්නේ නම්, රුපියල් කෝටි ගණන් වියදම් කරමින් උමාඔයෙන් වතුර හැරවීමට අවශ්‍ය තාවයක් මතුනොවේ.
 
එසේම උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තැබීමෙන් පසු හම්බන්තොට සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශය සඳහා පානීය ජලය සැපයීමට යැයි පවසමින් “රුහුණු පුර ජල ව්‍යාපෘතිය” නමින් තවත් මහා පරිමාණ ව්‍යාපාතියක්‌ රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර අලුතින් අරම්භ කළේය. එසේ රුහුණු පුර ජල ව්‍යාපෘතිය මගින් හම්බන්තොට සහ කිරිඳි ඔය නිම්නයට ජලය සපයන්නේ නම් උමා ඔය හරවන්නේ ඇයි? යන ප්‍රශ්නය මතුවේ.
 
දකුණට ජලය සැපයීමට යයි පවසමින් ඇරඹු උමා ඔය ව්‍යාපෘතිය අවසාන වන්නටත් ප්‍රථම, දකුණට ජලය දෙන්නට අලුතෙන්ම “රුහුණු පුර ව්‍යාපෘතිය” පටන් ගැනීම මඟින් බලධාරීන් නිහඬවම පිළිගෙන ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නොවේ ද? එය එසේ නොවේ නම් අයථා අන්දමින් මුදල් සොරාගැනීමේ තවත් එක් උපායක් ද?. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියෙන් ජලය දකුණට හැරවීම හේතුවෙන් ඉහළ ඌවේ ජල ගැටලුව තවත් උග්‍ර වනු ඇත.
 
ඒ එසේ වුවද මෙම ව්‍යාපෘතිය දැන් නතර කිරීමෙන් කිසිඳු පලක් නොවේ. සිදු නොවිය යුතුව තිබුණු විනාශය මේ වන විටත් සිදු වී හමාරය. මෙම ව්‍යාපෘතිය යථාතත්වයට පත්කිරීමට පිට සක්වලින් විශේෂඥයින් පැමිණියද දැනට භුමියට, භූසම්පත්වලට, ආර්ථිකයට හා ජන ජීවිතය ට කර ඇති හානිය සිදු වී හමාරය.
 
අද එෆ් බී පොලිටික්ස් අපි මේ ගැන කථා කලේ මෙහෙමයි.
 
 
 
තොරතුරු - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සම්මානිත භූගෝලවිද්‍යා මහාචාර්ය ජිනදාස කටුපොත / රසික කොටුදුරගේ ලිපියක් 
 
 
 
 
 
 
 


අතිශයෙන්ම බස්වලට විතරයි

රථවාහන තදබදය එහෙම නැත්නම් ට්‍රැෆික් කියලා කියන්නේ අපි හැමෝම අත්විඳලා තියෙන නීරස මාතෘකාවක් කිව්වොත් හරි. සමහර වෙලාවට..

වැහුවොත් මුහුණ - නොලැඛෙයි ප්‍රථීපල

ලංකාවේ අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදුවෙලා තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට. වසර 13 ක පාසල් අධ්‍යාපනය තුළ අපි මූලික වශයෙන්..

දඩි බිඩි වුණොත් ගෙවන්න වෙන දඩ වැඩි වෙන හැටි

අපි කවුරු හරි වැරුද්දක් කලොත් අපිට ඒකට දඩුවම් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. රියදුරෙක් පාරේදි වැරැද්දක් කලොත් අපිට ගෙවන්න..

තවත් බාලගිරි දෝෂයක්?

1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකර ගත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ රටට හඳුන්වාදුන් ප්‍රධානතම සාධකය තමයි පළාත්..

ටියුෂන්ද? ආගමද?

අද තියෙන්නේ විභාග කේන්ද්‍ර කර ගත්ත අධ්‍යාපන රටාවක්. අවුරුදු 13 ක පාසල් කාලය පුරාවට අපි ප්‍රධාන විභාග 3 ක් මුල් කරගෙන තමයි මේ..

බදු දීමෙයි විකිණිමෙයි වෙනස

ආයෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වැඩිම මුදල පසුගිය සිකුරාදා අපිට ලැබුණා. ඒ හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීනයට බදු..

උතුරම හඩා වැටුණු දකුණේ පොලිස් සැරයන් ඝාතනය..

බෙදීම් තුලින් කිසි දිනෙක ඒකීයත්වය, මිත්‍රත්වය හෝ සාමුහිකත්වය ඉස්මතු වන්නේ නැත. ඒකීයත්වය අද ලංකාවේ ජීවත් වන ඔබට මට අත්‍යවශ්‍යය...

මොලේ නැතිව පෙන්වන තෙලේ බලේ

වත්මන් රජය බලයට පත්වී වසර 2 ක් සපිරෙන්නේ ලබන අගෝස්තු 17 වනදාටයි. බලයට පැමිණෙද්දි කරන බවට දුන් පොරොන්දු සියයට..

කෝටි ගණන් වටින නෝටි කුඩු

මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අද වෙනකොට මුලු ලෝකේටම පිළිලයක් වෙලා තියෙන දෙයක්. එක පාරක් කන්ටේනරයක තිබිලා හෙරොයින් කිලෝ..

කටට රස බුලත් විට ඇත්තටම ඇඟට විසයිද?

ඈත ඉතිහාසයේ පටන් මෑත වර්තමානය තෙක්ම අපේ දේශීයත්වය තුලින් ජනයා තුළ මුල් බැසගත් හුරු පුරුදු ගතිලක්ෂණ චර්යාවන් පැවැත් අතර..

අපේ ක්‍රිකට්වල මීලග පිම්ම ගැන තිලංග කල හෙලිදරව්ව

ක්‍රිකට් කියලා කියන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩාව නොවුනට ඊටත් වැඩිය අපි ආදරය කරන සහ ජනප්‍රියත්වයට පත්වෙච්ච ක්‍රීඩාවක්..

තෝරු මෝරු පැනලා ගිහින් ඉස්තාලයෙන්?

දූෂණය / වංචාව / හොරු / මෙගා ඩීල් 2015 ජනාධිපතිවරණයේදී මේ වචන වේදිකාවල රැව්දුන්නා. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුව බලයට..

ඉතින් සමුගමු පොලිතින්

පරිසරය / කසළ / පොලිතින්. මේ වගේ දේවල් ගැන දැන් කෙරෙන කථාබහ ටිකක් වැඩිවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කසල හා බැඳුණු..

පමාවක් නැතිව කොමාවක් තැබිය යුතු, සමාවක් දිය නොහැකි උමා ඔය අර්බුදය

ජීවිතේ සමහර දේවල් තියෙනවා කොමාවක් තියා තිතක් තියලවත් ආපහු හරිගස්සන්න බැරි. ඒකයි පනින්න පෙර සිතා බලන්න කියලා කියන්නේ...



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online