වැඩියෙන් නෙට් යන්න අඩු වුණු බදු

රජයක් උනාම මහජනතාවට හැකිතාක් සහන දුන්නොත් තමයි දිගින් දිගටම මහජන ප්‍රසාදය දිනාගන්න පුලුවන් වෙන්නේ. හැබැයි පවතින ආර්ථීක තත්වයත් එක්ක හැමදාම සහන දෙන්න පුලුවන්ද කියන එක ගැටලු සහගතයි. වත්මන් යහපාලන රජය ආරම්භයේදී ජනතාවට ටිකක් දැනෙන සහන මල්ලක් දුන්නා. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කිරීම / ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීම ඉන් කිහිපයක්. හැබැයි පසුගිය රජය සමයේ ලබාගෙන තියෙන රුපියල් කෝටි ලක්ෂ 9 ක දැවැන්ත ණය බර ගෙවන්න අකමැත්තෙන් හරි බදු වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ උනා. විදුලි සංදේශ සේවා සඳහා සියයට 10 ක නව බද්දක් පැණවුනෙත් ඒ අනුව. වැට් බද්දත් එකතුවුණාම අපේ දුරකථන බිල එකට එකක් වැඩිවුණා කියන එක අපි හැමෝම අත්වින්දා. හැබැයි ඔන්න පුංචි හරි සහනයක් දෙන්න ආණ්ඩුව ගිය සතියේ කටයුතු කලා. ඉන්ටර්නෙට් මත පණවා තිබූ සියයට 10 ක බද්ද ඉවත් කිරීම / 150 සීසී කාණ්ඩයට අඩු යතුරුපැදි මත පණවා ඇති සියයට 90 ක බද්ද අහෝසි කිරීම සහ මිනි ට්‍රක් රථ මත පණවා ඇති රුපියල් ලක්ෂ 3 කට ආසන්න බදු ඉවත් කිරීම එම බදු සහනයි. 
 
නව ව්‍යවසාය ආරම්භ කිරීමේදී නවීන ලෝකයේ අත්‍යවශ්‍යම අංගයන් වන අන්තර්ජාල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් විෂයයෙහි ඔවුන්ට "ශක්තියක් ලබා දීමේ අරමුණින්" මෙම බදු මුදල් අඩු කරන බව රජය සඳහන් කළේය. "ඒ තුලින් ඇත්ත වශයෙන්ම අන්තර්ජාල භාවිත කරන අයට 25% ක පමණ බදු සහනයක් ලැබෙනවා," මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. ආණ්ඩුව එම බද්ද අඩුකිරීමත් සමගම අන්තර්ජාල භාවිත කරන්නන් සඳහා අන්තර්ජාල දත්ත (data) තවත් 10% ක් ලබාදීමට සැපයුම් සමාගම් එකඟ වූ බව පවසන අමාත්‍යවරයා පවසන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාල භාවිත කරන්නන්ට අඩු මුදලකට වැඩි දත්ත ප්‍රමාණයක් භාවිතා කිරීමේ අවස්තාව හිමිවන බවය. එමෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ බදු සහන පිළිබඳව විස්තර කළ අමාත්‍යවරයා, කුඩා ලොරි සහ සිංගල් කැබ් රථවලට දැනට අය කරන රුපියල් ලක්ෂ දහයක නිෂ්පාදන බදු මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂ හත දක්වා අඩුකිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් තැබූ බව සඳහන් කළේය. එන්ජින් ධාරිතාව 150 cc දක්වා වූ යතුරු පැදි සඳහා දැනට අයකරනු ලබන වටිනාකමෙන් 90%ක බද්ද ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කරනු ලැබ තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් එම වර්ගයේ උසස් ගණයේ යතුරු පැදිවල මිල රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා වූ මුදලකින් පහළ වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
නව රැකියා අවස්ථා පනස්දහසක් බිහි කිරීමට මඟපෑදෙන ආකාරයේ යෝධ ශක්තියක් ලබාදෙමින් රටේ සුළු හා මධ්‍ය පරිමාණ අංශයට බැංකු ණය පිරිනැමෙන නව ණය යෝජනා ක්‍රම අටක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය. වසර 2017 අය-වැයෙන් රජය යෝජනා කළ මේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් රටේ තරුණ ප්‍රජාවට නව ජවයකින්, උනන්දුවකින් ව්‍යාපාර, කර්මාන්ත ඇරඹීමට අවස්ථාව උදාවන බව ද ඇමැතිවරයා කීය.
 
කෘෂිකාර්මික අංශයේ දියුණුවට අත දෙන ‘රන් අස්වැන්න’ ණය යෝජනා ක්‍රමයත්, ‘ගොවි නවෝදා’ ණය යෝජනා ක්‍රමයත්, ‘රිය ශක්ති’ ණය යෝජනා ක්‍රමයත්, ‘රිවිබල සවි’ ණය යෝජනා ක්‍රමයත්, ‘දිරිය සවිය,’ ‘ජය ඉසුර,’ ‘මාධ්‍ය අරුණ’ හා ‘සොඳුරු පියස’ මේ ණය යෝජනා ක්‍රමත් තුළින් රටේ ජනතාවට සෙත සැලැසෙනු ඇත.
 
1. “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය
 
කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සහ වාණිජකරණයට පහසුකම් සැපයීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර මෙමගින් ගොවීන්, ගොවි සංවිධාන, කෘෂිකර්මාන්තය ආශ්‍රිත සැකසුම්කරණ ආයතන සඳහා ඵලදායීතාවය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය හඳුන්වාදීමටත්, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට ගොවීන් සමඟ පෙර ගිවිසුම් මත පදනම් වූ වාණිජ පරිමාණයෙන් කරනු ලබන මහා පරිමාණ ගොවිපොළ ආරම්භ කිරීම සඳහාත්, සහල් මෝල් හිමියන්ට නවීන තාක්ෂණයෙන් යුක්ත ගබඩා පහසුකම් ඉදිකිරීම සඳහාත්, මත්ස්‍ය වගාවේ නියැළෙන ව්‍යාපාරිකයින්ට හා විසිතුරු මල් වගාකරුවන්ට තම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහාත්, සහන පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා දෙනු ලැබේ.
 
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 750 දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි අතර ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 5කි. පොලී අනුපාතිකයෙන් සියයට 50ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශ්වය විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොළී අනුපාතය සියයට 6.54කි. රජය මේ යටතේ පොලී සහනාධාර ගෙවීම සඳහා 2017 වර්ෂයේ වෙන්කර ඇති මුදල රු. මිලියන 925කි.
 
‍2. “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය
 
පැළෑටි බද්ධ කිරීම, පැළ සිටුවීම, වල් පැළ නෙළීම, අස්වැන්න නෙළීම, කෘෂි ඉඩම් සකස් කිරීම වැනි කෘෂිකාර්මික කාර්යයන් සඳහා යන්ත්‍රසූත්‍ර භාවිතය දිරි ගැන්වීම තුළින් සුළු පරිමාණ ගොවීන් යාන්ත්‍රීකරණය කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කර ඉහළ අස්වැන්නක් ලබා ගැනීම තුළින් ඔවුන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. මෙම ණය යෝජනා ක්‍රමය මඟින් සුළු පරිමාණ ගොවීන්ට හා ගොවි සංවිධාන සඳහා ණය ලබාදෙන අතර එක් පුද්ගලයෙකුට හෝ ගොවි සංවිධානයකට ලබාදෙන උපරිම ණය සීමාව රු. 500,000කි. නැවත ගෙවීමේ කාලය වසර 5කි.
 
ණය ලබා ගන්නා ගොවීන් විසින් ගෙවිය යුතු ණය පොලී අනුපාතිකයෙන් සියයට 75ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාතිකයන්ට අනුව ණය ලබාගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 3.27කි. රජය මෙම පොලී සහනාධාර ගෙවීම සඳහා 2017 වර්ෂය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රු. මිලියන 50කි.
 
3. “රිය ශක්ති” ණය යෝජනා ක්‍රමය
 
පාසල් ළමුන් සඳහා වඩාත් සුරක්ෂිත පාසල් ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් පාසල් වෑන් රථ හිමියන් අවම වශයෙන් ආසන 28ක් සහිත බස් රථ සඳහා මාරුවීම දිරි ගැන්වීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබන අතර, එමඟින් වඩාත් ඵලදායී පාසල් ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.
 
පාසල් වෑන් රථ හිමියකුට ලබාගත හැකි උපරිම ණය සීමාව රු. මිලියන 4කි. ණය ආපසු ගෙවීමේ කාලය වසර 5ක් වන අතර ගෙවිය යුතු පොලියෙන් සියයට 75ක් රජය විසින් ගෙවනු ලබන බැවින් ණය ලබාගන්නා පුද්ගලයා ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 3.27කි. මෙම පොලී සහනය ගෙවීම සඳහා රජය විසින් 2017 වර්ෂය සඳහා වෙන්කර ඇති මුදල රු. මිලියන 150කි.
 
4. “රිවිබලසවි” ණය යෝජනා ක්‍රමය
 
රජයේ “සූර්ය සැපයුම” වැඩසටහන ය‍ටතේ සෑම නිවාස ඒකකයක්ම බල ශක්ති නිපැයෙන ඒකකයක් බවට පත් කිරීමේ අරමුණින් සූර්ය බලශක්තිය සඳහා යොමු වීම දිරි ගැන්වීම සඳහා මෙමගින් ණය ලබා දෙනු ලබන අතර, එමඟින් නිවාස හිමියන්ට තම බලශක්ති අවශ්‍යතාවය අඩු වියදමකින් සපයා ගන්නා අතරම රටෙහි බලශක්ති නිෂ්පාදනයට තම නිවසේ සූර්ය කෝෂ පද්ධති මඟින් ජනනය කෙරෙන බලශක්ති අලෙවි කිරීම තුළින් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකිය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ නිවාස ඒකක 1,000,000ක් සූර්ය බල නිෂ්පාදන ඒකකයන් බවට පත් කිරීමට අපේක්ෂා කරන අතර, එක් නිවෙස් හිමියකු සඳහා මෙමගින් ලබාදෙනු ලබන උපරිම ණය මුදල රු. 350,000කි.
 
ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5ක් වන අතර ණය ලබාගත් පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 6කි. රජය විසින් සියයට 6ක් සහනාධාර ලෙස බැංකු වෙත ගෙවනු ලබන අතර, ඒ වෙනුවෙන් 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති මුළු මුදල රු. මිලියන 1,500කි.
 
5. “දිරි සවිය” ණය යෝජනා ක්‍රමය
 
ග්‍රාමීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ගුණාත්මකභාවයෙන් යුතු කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන රට පුරා ව්‍යාප්ත කිරීම හා නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන් සඳහා කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ගුණාත්මක අයුරින් ගබඩා කර තබා ගැනීමේ අවස්ථා වර්ධනය කිරීමත්, ඔවුන්ගේ තොග හානි අවම කර ආදායම් මට්ටම් ඉහළ නැංවීම සඳහාත්, කුකුළු මස් නිෂ්පාදන වෙළෙඳපොළට අමතර අධිශීතකරණ 15,000ක් ලබාදීම මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ වේ.
 
ඒ අනුව, කුකුළු මස් නිෂ්පාදකයින් හට තෝරා ගනු ලබන නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන් 15,000ක් සඳහා අධිශීතකරණ ලබාදීම පිණිස අධිශීතකරණයක් සඳහා උපරිමය රු. 50,000කට යටත්ව ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් මෙම ණය ලබාදෙනු ලබන අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 4කි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුකුළු මස් නිෂ්පාදකයින් විසින් දැරිය යුතු පොලී වියදම මුළුමණින්ම රජය විසින් දරනු ලබන අතර එම පොලී සහනය ගෙවීම සඳහා රජය විසින් 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 75කි.
 
6. “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය
 
කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය, අත්කම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඒ ඒ ව්‍යාපාරයේ වෙළෙඳ පිරිවැටුම් සහ උත්පාදනය කරනු ලබන රැකියා ප්‍රමාණය මත පදනම්ව ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් වැඩිදියුණු කර ගැනීම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීම මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වේ.
 
ඒ අනුව, උක්ත ක්ෂේත්‍රයන්හි නියැළී සිටිනු ලබන වාර්ෂික පිරිවැටුම රු. මිලියන 25 සිට රු. මිලියන 250 අතර හා සේවක සංඛ්‍යාව 10 සිට 50 අතර වන සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා වසර 5කින් ගෙවා නිම කළ හැකි වන පරිදි රු. මිලියන 50ක උපරිමයක් දක්වා ද, මෙකී සුළු පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතුවල නිරත වන්නේ නම් රු. මිලියන 100ක උපරිමයක් දක්වා ණය මුදලක් ද ලබා ගත හැක. පොලී අනුපාතයෙන් සියයට 50ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශ්වය විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 6.54කි.
 
එසේම, උක්ත ක්ෂේත්‍රයන්හි නියැළී සිටිනු ලබන වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 සිට රු. මිලියන 750 අතර හා සේවක සංඛ්‍යාව 51 සිට 300 අතර වන මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වසර 5කින් ගෙවා නිම කළ හැකි වන පරිදි රු. මිලියන 200ක උපරිමයක් දක්වා ද, මෙකී මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතුවල නිරත වන්නේ නම් රු. මිලියන 400ක උපරිමයක් දක්වා ණය මුදලක් ද ලබා ගත හැක. පොලී අනුපාතයෙන් සියයට 25ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශ්වය විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 9.81කි. රජය මේ යටතේ පොලී සහනාධාර ගෙවීම සඳහා 2017 වර්ෂයේ වෙන් කර ඇති මුදල රු. මිලියන 750කි.
 
7. “මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය
 
මෙම ණය යෝජනා ක්‍රමය මඟින් අසීරු වාතාවරණයක් යටතේ තම රාජකාරි කටයුතු සිදුකරන ලියාපදිංචි මාධ්‍යවේදීන්ට තම රාජකාරී කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රු. 300,000ක ණය මුදලක් පොලී රහිතව ලබා දෙන අතර, මාධ්‍ය උපකරණ වැඩිදියුණු කිරීම සඳහා රු. 150,000ක ණය මුදලක් සියයට 6.5ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබාදේ. ප්‍රධාන රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව මඟින් මෙම ණය ලබා දෙනු ලබන අතර, රජය විසින් මේ සඳහා 2017 වසරේදී රු. මිලියන 25ක් වෙන් කර ඇත.
 
8. “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රමය
 
දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර ඇති එහෙත් ස්වශක්තියෙන් තම නිවාස සම්පූර්ණකර ගැනීමට හැකියාවක් නොමැති අඩු ආදායම්ලාභී ජනතාවගේ හිසට සෙවණක් ලබාදීමේ අරමුණින් බිම් වර්ගඵලය වර්ග අඩි 750ට අඩු නිවාස පුළුල් කිරීම හෝ සම්පූර්ණකර ගැනීම සඳහා ණය ලබාදීමේ අරමුණෙන් මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබේ.
 
මේ යටතේ එක් පවුලකට ලබාදෙන උපරිම ණය මුදල රු. 200,000 කි. ණයකරු විසින් ගෙවිය යුතු පොලියෙන් සියයට 50ක් රජය විසින් සහනාධාර ලෙස ගෙවන අතර, වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාතය අනුව ණය ලබා ගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 6.54කි. මෙම පොලී සහනාධාර ගෙවීම සඳහා රජය විසින් 2017 වසර සඳහා අය-වැයෙන් වෙන් කර ඇති මුදල රු. මිලියන 1,000කි. 
 


වමනය ගිය පමණින් ගැබිණියක් වනවාද?

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් විටින් විට වැරදි සිදු වන්නේය. ගුරු වරන් ඔවුනට දඩුවම් ලබා දෙන්නේ ඔවුන් ගේ වැරදි නිවැරදි කර ගැනීමටය..

ක්‍රිකට් ගහන්න මරු කටට යනවාද? නැද්ද?

දිගින් දිගටම ලබපු පරාජයන්වලට තිත තියලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔන්න පකිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට පිවිසුණා..

බදු නොගෙවන වෛද්‍යයවරු

රජයකට, රටකට අවශ්‍යය කටයුතු කාරණා නිසි ආකාරව ඉෂ්ට සිද්ධ කිරීමටනම් අති විශාල මුදලක් අවශ්‍ය වන බව නොරහසකි. එම නිසා සෑම..

හොඳින් නැතුව නරකින් ජාත්‍යන්තරය දිනන අපි

ඉස්සර අපිට ලාංකිකයෝ ගැන අහන්න ලැබුණේ රට ඇතුලේ හරි රටින් පිටතදී හරි සම්බන්ධවෙන පුද්ගල ඝාතන / කොල්ලකෑම් වගේ අපරාධ ගැන..

නිරුවත නැතිව මියුසික් වීඩියෝ හදන්නම බැරිද?

කලාව කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්. එයිනුත් සංගීතයට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. කථාවට කියන්නේ සංගීතය කියලා කියන්නේ..

මාසෙට වියදම ලක්ෂයයි / සුපිරි වැඩිහිටි නිවාසයේ විස්තර මෙන්න

ඔක්තෝබර් කියලා කියන්නේ ජත්‍යන්තර දින විශාල වශයෙන් සැමරෙන මාසයක්. මේ මාසයේ පළමු දිනයම වෙන් කරලා තියෙන්නේ ළමුන්...

පනින්න පෙර කියවා බලනු

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව..

අත පෑවොත් පන්දාහයි බස්රථ වල සිගාකෑමට එරෙහිව දඩ

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ පොදු ප්‍රවහාන සේවාව ලෙස හදුන්වන්නේ බොහෝ දුරට බස්රථයයි.එදිනෙදා තම දෙෙනික අවශ්‍යතාවයන් සම්පුර්ණ...

ඔයත් BMICH එකේ BOOK FARE ගියාද?

කියවීම මිනිසා සම්පුර්ණ කිරීම බොහෝ කාලයක සිට අප අසා ඇති කියමනක් වුවත් වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය මගින් කියවීමට තරම් ඉඩකඩක්..



Copyright © 2016. All Rights Reserved. Designed and Developed by TNLRN Online